“මොකටද මිනිස්සුන්ට මෙච්චර පිරිත්? හීනෙන් යක්කු පෙනෙයි කියල බයට. තමන් යක්කු වෙලා නැගිටියි කියල බයට. බුදුන් නැති නිසා පිරිත්. මිනිස්සු ගැන විශ්වාස කරන්න බැරි නිසා පිරිත්. තමන්ට තමන් ගැන විශ්වාසයක් නැති නිසා පිරිත්. යක්කු කුම්බාණ්ඩයො අන වින කොඩි වින කඩන නිසා පිරිත්. පිරිත් කියන්නෙත් ඒවට. මන්තර වලට. බුදුන්ව මේ රට යල් පන්නවපු එකක් කලේ මේ රටේ මිනිස්සුමයි. මිනිස්සුන්ට ඕන වුනේ යක්කුන්ගෙනුත් වැඩ ගත්තා වගේ බුදුන්ගෙනුත් වැඩ ගන්න. ඕවට අහුවෙයි ඒ මනුස්සය. එයා නිවන් දැක්කා"
-  ; බුදුන්ගේ රස්තියාදුව
කේකේ ශ්‍රීනාත්
***

ශ්‍රිනාත් මෙතන අන්තිමට කියල තියෙන කතාවට යමක් එකතු කරනව නම්;
බුදුන් නිවන් දැක්කට ඔහුට මිනිස්සු තමන්ගෙන් යකෙක්ගෙන් වගේ වැඩ ගන්න එකෙන් බේරෙන්න බැරි වුනා. අදටත් මිනිස්සු බුදුන්ව පාවිච්චි කරන්නෙ බැඳගෙන ඉන්න යකෙක්ගෙන් වගේ වැඩ ගන්න. අදටත් මිනිස්සුන්ගේ ජීවිතය තුළ බුදුන්ගේ දර්ශනය ෆේල්. මිනිස්සු බුදුන්ගේ දර්ශනය පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. බණ අහන උනුත් ගනන් ගන්නෙ නෑ, බණ කියන උනුත් නෑ. දර්ශනය පැත්තකට දාලා බුදුන් කියන යකාව සාලෙ බිත්තියක් උඩ හිටුවගෙන, හන්දි හන්දි ගානෙ පාරක් පාරක් ගානෙ හිටුවගෙන වැඩ ගන්නවා. යකෙක්ගෙන් වගේ වැඩ ගන්නවා. ගෙදරින් එළියට බහින්න කලින් ඒක දිහා බලාගෙන මතුරනවා, 'මාව ආරක්ෂා කරල දෙන්න' කියනවා, බාර හාර වෙනවා, ප්‍රමෝෂන් ඉල්ලනවා, ලීස් එක ගෙවාගන්න සපෝට් එකක් දෙන්න ඉල්ලනවා.. බුදුන් නිවන් දැක්කට එයා දැනන් හිටියේ නෑ එයාගෙ මළමිනිය කන්න බලාගෙන මිනිස්සු වටවෙලා ඉන්න බව.
දත් තිස් දෙක තියාගෙන වඳිනවා.. වැඩගන්නවා, ඇට කෑලි තියාගෙන වඳිනවා.. වැඩ ගන්නවා, කෙස් කෑලි තියාගෙන වඳිනවා.. වැඩ ගන්නවා.
බුදුන් අච්චර කට්ටක් කාලා හොයා ගත්තාය කියන දර්ශනය බල්ලෙක්වත් මායිම් කරන්නෙ නෑ.
මිනි කෑලි ඇට කෑලි කරේ තියාගෙන බුදුන් අත හරින්න කියපු ලෞකිකත්වය තවත් තදින් අල්ලගන්න බැඳගත්ත යකෙක්ගෙන් වගේ තාම නටවනවා.
ඒ අතින් බැලුවම මේ ලෝකයේ වැඩියෙන්ම විකිණෙන ගණිකාවන් මට්ටමට වැටිලා ඉන්නේ වෙන කවුරුත් නෙමේ, බුදුන්.. ජේසුස් වගේ ආගමික ශාස්තෲවරුන්...

- Jamis Banda

Post a Comment

  1. උඹ ඇවිදගෙන යන්නෙ ගිනි අඟුරු ගොඩ පැත්තට.

    ReplyDelete

Powered by Blogger.